ඔබ ලෝකය හුඟාක් විශ්වාස කරන,තමන්ගෙ යහලුවන්ව ඉතාමත්ම ලඟින් තියාගන ඉන්න කෙනෙක් නම් මම අද කියන කාරණය ඔබ වෙනුවෙන්මයි කියලා හිතාගත්තට වරදක් නැහැ.
අපි ලෝකයට විවෘත වෙන්න ඕන සීමාවක් තියනවා කියලා මම කිව්වොත් මම දන්නව හුඟ දෙනෙක් එක පාරටම මාත් එක්ක එකඟ වෙන්නෙ නැහැ.
ඒත් මේ කතාව කියැවූවට පස්සෙත්,අපි විවෘත වුනාට වරදක් නැහැ කියලා හිතන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම්,
එයාට දෙවියන්ගේ පිහිට පතනවා හැර කරන්න දෙයක් තියේවිද ?
මම උසස් පෙළ කරන කාලෙදි මම සිටිය පන්තියෙම උන්නා හොඳ යාලුවෝ දෙන්නෙක්.අපි එයාලව නම් කරමු "කමල්" සහ "පියල්"කියලා.(ඇත්ත නම් පාවිච්චි කරන්න ගොහින් හැරෙන තැපෑලෙන් වානර මානවයාගේ කාලයේ ඉඳන් පැවත එන වචන තොගයක් අහගන්න බැහැ )මේ දෙන්නා ස්කෝලෙට එන්නෙත් එකටමයි,යන්නෙත් එකටමයි.කැන්ටිමට ගියත් එකටමයි .එක්කෙනෙක් බෞද්ධ සංස්කෘතිය තෝරගත්ත නිසා අනෙක් කෙනෙත් දේශපාලන විද්‍යාව අතහැරලා බෞද්ධ සංකෘතියම තෝරාගත්තා.ඒ තරම්ම එකටමයි දෙන්න උන්නේ.(අපි සමහර වෙලාවට විහිලු කරනවා නෝනයි මහත්තයයි කියලා )
දෙන්නගෙ වෙනස්කම් තිබුනෙ කිහිපයයි .වෙනස් විදියට කලේ, ගැහැණු ළමයි දෙන්නෙක් තෝරාගත්තු එක.එක්කෙනෙක් ටිකක් සල්ලාලයි,අනිත් කෙනා එහෙම නැහැ.මේ දෙන්නාගෙ ගැහැණු ළමයි මුණගැහෙන්න යන්නෙත් බොහෝ වෙලාවට එකටමයි.
ඉතින් ඔහොම උසස් පෙළ පලවෙනි අවුරුද්දත් ගෙවිලා ගියා,මේ "කමල්" ගෙයි "මිත්‍රත්වය වර්ධනය කරමින්.හදිස්සියෙම, අගෝස්තු නිවාඩු කාලෙ දි මට දැනගන්න ලැබුනා කමලුයි පියලුයි එකතුවෙලා හිටවපු පැණි වරකා ගහට හෙනයක් පහත් වෙලා කියලා.මේ දෙන්නගෙ යෙහෙළියන් උන්නෙ එකම නැටුම් පන්තියක.ඉතින් එයාලාව මුණගැහෙන්න දෙන්නාම යනකොට කවුරුත් දන්නවා.ඒ වගේම කෙනෙක් එන්නෙ නැත්නම් එදාට එයාගෙ ගැහැණු දරුවාට පණිවිඩයක් යවන්නත් හරිම පහසුයි.
මේ විශේෂිත සිද්ධිය වෙන දවස් වල මේ දෙන්නගෙ යෙහෙළියො දෙන්නත් එකිනෙකාට ඔරවා ගන්නා තත්වයට පත් වෙලා."තමන්ගෙ පෙම්වතා එක්ක අනෙක් කෙනාගෙ පෙම්වතා තරහයිනෙ ,ඉතින් මම මොකටද එයා එක්ක කථා කරන්නෙ?" ඒ දෙන්නම එහෙම හිතලා මූණුවත් බලන්නෙ නැතුව හිටියා.
ඉතින් පළවෙනි සතිය තමන්ගෙ කේන්තිය ඇඟ ඇතුලෙම තියාගත්තු යහළුවෝ අමතර පංති වලදි මුණගැහුනත් එකිනෙකාගෙ මුහුණ්වත් නොබලන්න තරම් කේන්තියෙන් උන්නෙ.(හැබැයි දෙන්නගෙම හිත් වල තිබිලා තියෙනවා "අරෙයා මට සොරි කියයි" කියලා.ඒත් කවුරුවත් කාටවත් සොරි කියන්න ගියේ නැහැ.
දෙවෙනි සතිය වෙනකොට ප්‍රශ්නෙ ඔඩු දුවලා ඉවරයි.සමාදාන කරන්නත් කෙනෙක් නැහැනෙ ස්කෝලෙ නිවාඩු නිසා.ඔන්න දැන් දෙන්නම හිතනවා දෙන්නගෙන්ම පලිගන්න විදිහ ගැන.මම කලින් කිව්වෙ එක්කෙනෙක් ටිකක් සල්ලාලයි කියලා,එයා යනවා මුනගැහෙන්න අනිත්කෙනාගෙ යෙහෙලියව මුණ ගැහෙන්න.ගිහින් කියනවා තමන්ගෙ යාලුවාගෙ පෙර වැරදි ටිකක්.මේ ගෑණු ළමයා ලනුව සම්පූර්ණයෙන්ම ගිලිනව.ඉන්පස්සෙ ජෝඩුව රණ්ඩු.
මේ අතරෙ දවසක ,අපේ අනික් අඹ යාළුවා යනවා තමන්ගෙ සල්ලාල යාළුවාගෙ හෙහෙළිය මුණගැහෙන්න, වතගොත කියලා තමන්ට දීපු එකේ "රිටර්න් "එක දෙන්න.ඒත් ඒ ගැහැණු ළමයාට අනිත් ළමයට වඩා ටිකක් මොලේ තියනවා.එයා අහනවා "ඔයාලා අය්යෙ හොඳ යාළුවො නම් ඇයි තරහා වුනාම තම තමන්ගේ වැරදි කියාගන්නෙ ?"කියලා.මේක හරියට "ගහෙන් වැටිච්ච් මිනිහා වඳින්න ගිය දේවාලෙ ගොනා ඇනලාන් ඉහේ කඩන් වැටුනා වගේ" සිද්ධියක්නෙ.
ඔය අතරේ අපට ඇත්ත කාරණය ආරංචි වෙනවා,අපි කීප දෙනෙක් ගෙවල් වලට ගිහින් කමලුයි පියලුයි සමාදාන කරනවා.ඒත් ඉතින් එතකොට නොවෙන්න ඕන දේවල් ගොඩාක් සිද්ධ වෙලා ඉවරයි.උසස් පෙල ඉවර වෙනකම් ඒ දෙන්නා අපිත් එක්ක හිටියා වුනත් අර ඉස්සර තිබිච්ච මිත්‍ර බැඳීම ඉන් පස්සෙ අපි එයාලගෙන් දැක්කෙ නැහැ.
දැන් එයාල දෙන්නම විවාහකයි, දරුවන් එහෙමත් ඉන්නවා.හැබැයි ඒ දෙන්නම බැන්දෙ ඒ දවස් වල ප්‍රේම සම්බන්දයක් තිබිච්චි දෙන්නවම නෙවෙයි.සමහර විට එයාලා දෙන්නගෙම හැටි දැන ගත්තු නිසා වෙන්න ඇති.
තමන්ගෙ පෞද්ගලික විස්තර,කරන්න හිතාගන ඉන්න දේවල්, වක්කඩ කැඩුවා වගේ තවත් කෙනෙක් ඉස්සරහා දිග හරින්නෙ නැතුව,යම් පමණකට පුද්ගලිකත්වය රැක ගන්න උත්සාහ ගන්න.මොකද අපි තාමත් රහතන් වහන්සේලා ආශ්‍රය කරන්න පටන් අරගන නැති නිසා.