Monday, June 20, 2011

කැපී පෙනෙන්නට ගොස් පෙනී කැපීම.


කැපී පෙනෙන්නට ගොස් පෙනී කැපීම.


මෙහෙම වුනොත් ඔබට කොහොම දැනේවිද?හිතලා බලන්න ටිකක්.
ඇයි අපි කැපිල පෙනෙන්නට යන්නෙ?...උත්තරයක් එකපාර දෙන්න අමාරුයි නේද?
ඒ වුනාට උත්තරයක් නම් නැත්තෙ නැහැනෙ නේද?
එක එක්කෙනාට එක එක උත්තර තියෙන්න පුලුවන්.ඒවා කමෙන්ට් විදියට පල්ලෙහා දාන්නකො වෙලාව තිබුනොත්.

ඒ වුනාට අපි වැඩිපුර කැපිලා පෙනෙන්නට යන්නේ නම් ගෑනු ළමයි ඉස්සරහා කියන එකනම් ඉතා ප්‍රසිද්ධ රහසක්.ගෑණු ළමයා සුන්දරයි නම් ඇය ඉස්සරහා දාන මෙවලම් වල ප්‍රමානයත් බොහෝම වැඩියි....එහෙම නේ...ද?නෙවෙයිද?
හැබැයි ඔය ව්‍යයායාමය අවසන් වෙන්නෙ හුඟ වෙලාවට "කැපිලා පේන්න ගිහින් පෙනිලා කැපීමෙන්"
මේකත් ඒ වගේ සිද්ධියක්.
අන්තිමට හිනා වුනාට මට නඩු දාන්න බැහැ.ඒත් යමක් නොගත්තොත් නම් නඩුවක් වැටෙයි.  

තානාපති කාර්යාලයෙන් පවත්වපු උත්සවයකට මඟුල් බෙරයක් උවමනා වුනා.
බය වෙන්න කාරණයක් නැහැ ඔය මඟුල් බෙරද,,යක් බෙරද, දවුල්ද,හේවිසිද,,එකී මෙකී නොකී හැම හෙල සංගීත භාණ්ඩයක්ම අජිත් අය්යගෙ ගෙදර තියන නිසා අපේ යාලුවෙක් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වුනා බෙරය ගෙනත් දෙන්න.
පාර කොලයක ලියාගනත්,ගමන යන අතරමගට දුරකතන ඇමතුම් පහලොවක් විතර දීලා අපේ අය්යා ගියා කියමුකෝ ගමනාන්තයට.
එහෙන් මෙහෙන් ඔලුව දාලා බල්ලො නැති බව දැන දැනම 
"බල්ලෝ කයිදෝ...බල්ලා බැඳලාදෝ ..."
අහලා කාරිය ගෙදරට සේන්දුවුනා.
ආවෙ ඉස්සරහට ගෑණු ළමයෙක්.
ඔන්න ලොතරැය්ය සූරනවානම්...ගත්තා කඩුව වැනුවා...
"මිස්,ඊස් අජිත් අය්ය ඇට් දි හෝම්..?"
"නෑ වැඩට ගිහින්.!"
කෙල්ල ඒක කිව්ව නෙවෙයි දමලා ගැහුවා.
ඉන් පස්සෙ සිංහලෙන්ම කාරණේ පහදලා දෙන්න අපේ මනුස්සයට සිද්ද වුනා.
"මේ..නංගි අපි ආවෙ එම්බසියෙ වැඩකට ,,අජිත් අය්යගෙන් මඟුල් බෙරය ඉල්ලාගන යන්න..!"
"අය්ය යන්න කලින් කිව්ව ගෙනියන්න කවුරු හරි එයි කියලා.අර කාමරයෙ තියෙන්නෙ අරගන්න .."
ළමයා ඉස්සර තාලෙට වඩා අඩු ටෝන් එකකින් කිව්වා.
කියලා කාමරයක් දිහාට අතක් දික් කලා.
අපේ මෑන් මාදිහා බැලුවා.
තෙරුම ,,"මඟුල් බෙරේ අඳුනනවද?"
මම දන්නෙ නැහැ.
"නංගි ඔයා නැටුම් ද කලේ ස්කෝලේදි?
"නෑ චිත්‍ර ඇයි..?"
ආයිත් දමලා ගැහුවා වචනවලින්.
"න් ..නෑ  නංගි එහෙනම් දන්නවා ඇතිනෙ 'ඩවින්සි', 'මයිකල් ඇන්ජලෝ' ,'රෆායෙල්' ගැන හෙම."
"අය්යත් චිත්‍රද කලේ?"
පොඩි ලීලෙයක් ආවා.
"නෑ නංගි මම කලේ නැටුම්.ඒ වුනාට මම හැම දෙයක් ගැනම දන්නවා"
"එහෙනම් අය්ය බෙරේ අඳුනනවා ඇතිනේ අරන් යන්න අපි පස්සෙ කතා කරමු..!"
අනේ පස්සෙ නෙවෙයි ඒ ළමයට බෙර ගැන ලොකු විස්තරයකට කන් දෙන්න වුනා ඒ වෙලාවෙම.
මම උත්සවය මතක් කරලා යන්තම් එතනින් ආවා 
"දැක්කනෙ වැඩ?"
හිතවතා හරීම උද්දාමයෙන් බෙරේ සංවිධායක මණ්ඩලයට දුන්නා.
කරුමෙක මහත ,
මඟුල් බෙරය කියලා යාලුවා ගෙනත් තියෙන්නෙ 'යක් බෙරය'
"බෙරේ ගෑණු ළමයා ලියුම් කවරෙකට දාලද බං දුන්නෙ ..?"
කවුදෝ මහා කට කැඩිච්චි කතාවක් කිව්වා.
කොහොමින් කොහොම හරි' බෙරේ මාරු ඇරගන 'එන්න වුනෙත් අපේ හිතවතාටම තමයි.



Sunday, June 12, 2011

ඔබේ බළල් අතින් ගින්නේ පැහෙන කොස් ඇටයක් කපටියකුට බාවලා දෙමුද?


ජීවිතයේ කවදාම හරි ඔබ කපටියකුට අසුවී නැතිද?
හෘද සාක්ෂියට එකඟව නම් ඔබට නැහැ කියන්න බැහැ.මොකද මේ සමාජයේ ඉන්න ආත්මාර්ථකාමී මිනිස්සුන්ගෙන් බේරෙන්න නම් ලොකු අත්දැකීම් තොගයක් ඔබ යන එන තැන් වල රැගෙන යායුතු වෙනවා.

මේ ලෝකය දැන් ඒ තරමටම කපටියි.ඔබත් ඒ තලයේම නොහිටියෝතින් වෙන්නෙ ඉතාම පහසුවෙන් ඔවුන් ඔබව ගොදුරක් කර ගන්නවා,විශ්මිත දේ වෙන්නෙ ඔබ ගොදුරක් වූ වග ඔබවත් දන්නෙ නැහැ.
සමහර විට ඔබ නොදැනුවත්වම දැනටත් කාගේ හරි බළල් අතක් වෙලා ඉන්න පුලුවන්.ටිකක් කල්පනා කරලා බලන්න ,සමහර විට ඔබට මතක් වෙන්න පුලුවන්.
මේ මිනිසුන් බොහෝ විට ඔබ ඉදිරියට එන්නෙ ඉතාම සුහදශීලී විලාශයෙන්.ඇත්තෙන්ම එහෙම ආවාම හරිම ලෙහෙසියි කෙනෙක්ව 'අන්දාගන්න'.
මොකද සුහදශීලිත්වයට අපි හැමෝම කැමතියිනෙ නේද..?
අපි හිතන්නෙ "අනේ මේ හරි හොඳ කෙනෙක්නෙ "
ඇත්තෙන්ම අපි හරිම ඉක්මනට ඒ පුද්ගලයාට 'චරිත සහතිකයක්'දෙනවා.
අන්තිමට එයා අපි දීපු චරිත සහතිකය විතරක් නොවෙයි අපි හරි පරෙස්සෙමෙන් හදාගත්තු අපේ පෞරුෂත්වය ඉස්සරහ ප්‍රශ්නාර්ථයක් තියලා යනව,ලොකු ආර්ථික අලාභයකුත් කරලා.
මම මේ කියන්න ලෑස්ති වෙන සිද්ධිය මම ගිය වතාවට කලින් වතාවෙ නිවාඩුවට ආව දවස් වල සිදුවෙච්ච එකක්.
මෙහෙ ඉඳලා ආපහු ලංකාවට ගිය අපේ හිතමිත්‍රයෙක් මුණගැහෙන්න ගිය වතාවක තමයි මම මේ කථාන්දරයට පාදක වෙන පුද්ගලයා මුණගැහුනෙ.
ඔහු ඒ වෙනකොට ලංකාව පුරා වේගයෙන් පැතිරී යමින් තිබුන 'ජාල වෙළඳාම'නම් මිනිසුන් ඇන්ඳවීමේ කළාවේ කොටස් කාරයෙක්.
ඔහුගෙ වෙළඳාම වුනේ 'බහු පෝශ්‍ය පදාර්ථ'සහිත පෙති සහ කරල්.
මම ඉතින් කාලෙකට පස්සෙ මුණ ගැහුන මිත්‍රයා එක්ක ආගිය් තොරතුරු කථාබහ කරලා තේ කෝප්පයක් කාරිය බීලා යන්න ආපසු යන්න ලෑස්ති වෙනකොටම වගේ මම අර කලින් සඳහන් කළ පුද්ගලයා එතැනට ආවා.
බොහෝම සුහදශීලී කමක් එක්කම ප්‍රසන්න පෙනුමක් අපේ කථානායකයාට තිබුනේ.
"මල්ලිව මම කලින් දැකලා නම් නැහැ"
කියලා තමයි එයා කථාව පටන් ගත්තේ.
 මම ඉතින් මගේ විස්තර ඔහුට කිව්වා.ඇත්තෙන්ම මට ඔහු ඒ තරම් ප්‍රශ්ණකාරී කෙනෙක් විදියට පෙනුනේ නැහැ ඒ වෙලාවෙ.හැබැයි මගේ මිත්‍රයා එකපාරටම ඔහු පිටුපසට ගොහින් අතින් 'එපා' කියලා ගියා.මට ඒ සංඥාව එකපාරටම තේරුම් ගියේ නැහැ.
"ෂහ් ,මල්ලිට හොඳ ප්‍රමෝෂන් එකක් තියනවා පොඩ්ඩක් ඉන්න පුලුවන්ද?"
හරීම ආචාරශීලී විදියට ඇහුවාම කාටද ටිකක් ඉන්න බැරි .ඔය අතරේ මම දැක්ක පුද්ගලයා කඩිමුඩියේ  තමන්ගේ ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගන්නවා බොහෝම කලබලයෙන්.
ඔය අතරේ අපි ආගිය තොරතුරු කථාකරත්දි මගේ මිත්‍රයා මට අතින් 'යන්න' කියනවා,මට ඕන මොකක්ද මේ වටිනා ප්‍රමෝෂන් එක බලාගන්න.
ඔන්න එකපාරටම යතුරු පැදියකින් ආවා තවත් ප්‍රසන්න තරුණයෙක්.
මම යාන්තමට දැක්කා මගේ මිත්‍රයා නළලේ අත ගසාගන්නවා.දැන් දෙන්නා ලෑස්තිය මට 'හරි වටිනා ප්‍රමෝෂන් එක' හඳුන්වලාදෙන්න.
"සර් මම අපේ ප්‍රොඩක්ට් ගැන කියන්න කලින් ,සර් ගෙන් පොඩි ප්‍රශ්ණ දෙක තුනක් අහන්න කමක් නැහැ නේද?"
අර ආචාරශීලිත්වය ආයෙත් ඉස්මතු වෙනවා.
"කමක් නැහැ මල්ලි."
"සර් දන්නවද දැන් අවුරුද්දට කී වතාවක් ගොයම් කැපෙනවාද කියලා ...?"
"දෙකයි..!"
"නැහැ. තුන් වතාවක් ගොයම් කපනවා."
මට තර්ක කරලා මේ කොල්ලව පාගන්න තිබුනත් මම ටිකක් ඉවසලා උන්නා.
"සර් දන්නවද පොඩි දරුවෙකුට 'රන් කිරි කට ගාලා' කවන අර්තාපල් ගෙඩිය හැදෙන පොලවේ නිසරු බව කොච්චරද කියලා..?"
මම සද්ද නැතුව උන්න නිසා කොල්ලා 'ෆෝම්' වෙලා කියවනවා.
මම ආයෙමත් 
"නැහැ"
කිව්වා.
"සර් දන්නවද බටයක් ඇතුලෙන් වතුර ගලාගන යන විදිය...?"
"සාමාන්‍ය විදියට වතුර පාරක් ගලාගන යන විදිහට නෙ..?"
"ඔව්,ඒත් ඒ විදිහට බටේ ඇතුලෙ බැඳෙන් දිය සෙවල කුණු රොඩු සුද්ධ වෙනවද?"
කොල්ල උත්තරේ ප්‍රශ්ණයක් කරගත්තා.මාව හිරකරන්න හදනවා වගේ කියලා පලවෙනි වතාවට හිතුනා එතනදි.
දබරඟිල්ල දිගු කරගත්තු කොල්ලා ඒක කරකව කරකව මගේ ඉස්සරහට ගෙනාවා.
"මෙහෙම වතුර බැස්සොත් කුණු රොඩු සුද්ධ වෙන්නෙ නැත්ද.."
ඇත්තෙන්ම මට "ඔව්" කියවුනා.
තරඟයෙන් භාගයක් දිනපු කොලුවා ඔන්න ඔය වෙලාවෙ තමන්ගෙ මල්ලෙන් ගත්තා එලියට අපේ භාෂාවෙන් කියන"මල්ටි විටමින්" තොගයක්.
මට තේරුනා තවත් සද්ද වහලා ඉන්න එක භයානකයි කියලා.අනිත් එක මම රැකියාව කලේ බෙහෙත් වර්ග ගෙන්වන සමාගමක.ඉතින් මට බෙහෙත් වර්ග ගැන හොඳ වැටහීමක් මගේ ඖෂධවේදියා දීලා තිබුනා.ඔහුට පින් දිදී මම බෙහෙත් ගැන දන්න සේරම විස්තර කොල්ලට කිව්ව.
දඩයක්කාරයා දඩයම වෙනහැටි මගේ මිත්‍රයා හිත යටින් හිනාවෙවී බලාඉඳිත්දි වෙළෙන්දො දෙන්නා මට මෙහෙම කියනවා.
"ඉතින් මචන් උඹට පුලුවන්නෙ අපිත් එක්ක එකතු වෙලා මේක කරන්න.සිරාවට මාසෙකට ..0000 වඩා ගන්න පුලුවන්."
'සර්' 'මචන්' වෙත්දි ඔරුවෙ අනික් පැත්ත හොඳ වේගන එන බවක් මට තේරුනා.
"මල්ලි රන් කිරි කටගානවා කියන්නෙ තනකිරි ටිකකට රත්තරන් උරච්චි කරලා දරුවගෙ කටේ තියන එකට.ඒකට කවදාවත්ම අර්තාපල් ගන්නෙ නැහැ.අනික,අර්තාපල් කියන්නෙ මල්ටි විටමින් පසට දාලා හැදුවත් කිසිම ගුණයක් නැති එළවළුවක්."
මගේ යාලුවාට අත වනලා මම මගට බැස්සා.
හිතන්න ,
මම යමක් දැනගන හිටි නිසා දෙන්නගෙන් ගැළවුනා නැත්තන් 'අඹ සරණයි' නේද?ඉගෙන ගන්න දෙයක් කවදාවත්ම අහක යන්නෙ නැහැ.කොයිම මොහොතක හරි පිහිටට එනවා.
ඔබ දැණුමෙන් සන්නද්ධ වෙන්න වෙන්න කපටින්ගේ 'දූස්රාවට' මුහුන දෙන්න ලෙහෙසි වෙනවා.


Saturday, June 4, 2011

හිත පැලෙන්න කරන ඊර්ෂ්‍යාවෙ තියන වටිනාකම දන්නවද?


ඊර්ෂ්‍යාව කියන හැඟීම තමයි මිනිහෙක්ව ඉහලටම අරගන යන්න තියන හිනිමග.
ටික දවසකට පස්සෙ මම ආවා ටිකක් විතර අවුල් සහගත කියමනක් එක්ක,එහෙමද ඔබට හිතෙන්නෙ?
"ඉහලට යනවා නම් ඉරිසියා කරන්න බැරියැ ඕන තරම්."
එහෙනම් ඉතින් තවත් කල් ගන්නෙ මොකටද? පටන් ගමු  ,මේ දැන්මම.

මම තුනේ පන්තියෙ ඉඳිත්දි මගේ පන්තියෙම (මගෙ පුතා කියන විදියට )යාලුවෙක් උන්නා.එයාගෙ නම ලියන්න බැහැ.එයාට හොඳට ඉගන ගන්න පුලුවන්,හැබැයි එයා මට දෙවෙනි වෙනවා හැම විභාගයකම.
මම පළමුවෙනියා මගෙ මිත්‍රයා දෙවෙනියා.මගෙ මිත්‍රයාගෙ තාත්තා අපේ පලාතෙ ප්‍රභූ පැලැන්තියටත් ටිකක් විතර කිට්ටුවෙන් යනවා.
ආණ්ඩුවෙ රැකියාවක් කලේ,මිනිස්සු ගරු කල යුතු(නැති තැන නැතත් මූනට )නිළධාරියෙක් ඒ මහත්මයා.
පුතා අපට තාත්තා කව්ද කියල අමතක කරන්නම දුන්නෙත් නැහැ.
සමහර විට මගේ මිත්‍රයාට තාත්තාගෙ තැන සහ එයා ඉන්න තැන සම්බන්ධව පීඩනයක් තිබුනාද කියලා අද හිතෙනවා මට.
මිනිහා මට උත්තර දුන්නෙ හිත පැලෙන්න ඉරිසියා කරලා.
මා ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්නෙ,මම ළමයෙක් එක්ක ගහගත්තත් ගහගත්ත ළමයා ගුරුවරුන්ට කියන්න කලින් මගේ මිත්‍රයා දෙනවා ප්‍රවෘත්තිය.
මම ගුරුතුමාගෙන් ගුටි කෑවාම යාලුවාට හරිම සතුටුයි.
මට ප්‍රශ්නෙකට වැරැද්දක් ලැබුනොත් මෙයා හැමෝටම කියනවා,මට ඉතින් හීනියට වගේ ලජ්ජාවකුත් නේනවා නෙවෙයි.
මේ විදිහට මම පන්තියෙ දඟ සහ දක්ෂ ළමයෙක් විදිහට නමක් ගනිත්දි ඔය විස්තරය මගෙ තාත්තාට ආවා.
මම තාත්තාට සිදු වෙන දේ කිව්වා.
"අර ....මගෙ වැරදි හොයහොයා ටීචර් ලට කියනවා"
තාත්තා දුන්නෙ ටිකක් අමුතු උත්තරයක්.
"එයා ඔය ඉරිසියාවටනෙ ඔය දේවල් කරන්නෙ.!"
"මොකක්ද තාත්තෙ ඉතින් මම කරන්න ඕන..?"
මට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනෙ මේ සිද්ධි මාලාවම.
තාත්තා බොහෝම ආදරෙන් මගේ ඔලුව අතගාලා කිව්වා,
"ඔයාට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ.ඔය දේවල් වලට මුහුන දෙන්න පුරුදු වෙන්නත් එක්කඔයා ඊලඟ පාරත් පන්තියෙ පළවෙනියම වෙන්න.ඒ ළමයා ඔයා එක්ක හිතවත් වෙච්චි වෙලාවක කියන්න 'ඉරිසියා නොකර පළවෙනියා වෙන්න උත්සාහ කරන්න'කියලා."
මම තාත්තා කියපු විදිහට යාලුවට කිව්වට වැඩක් වුනේ නැහැ.මිනිහගෙ කෙනෙහිලි කම් වල අඩුවක් වුනෙත් නැහැ.
අන්තිමට සිද්ධ වුනේ ඊට අවුරුදු දෙකකට පස්සෙ මම ශිෂ්‍යත්ව විභාගෙන් සමත් වෙලා ගමෙන් නගරයට එනකොට මගේ මිත්‍රයා පන්තියෙ පස්වෙනියා.එයා එයාගෙ කාලය මා ගැන හොයාන්න යොදලා තමන් ගැන බලාගන්න බැරි වෙලා.
මේ සිද්ධිය වෙන්නෙ ඊට අවුරුදු දහහතකට විතර පස්සෙ.
මම මේ රටේ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයට එනකොට ,මට එතැන පළමු කණ්ඩායමේ තැනක් තිබුනේ නැහැ,තව හොඳ පිට දඟ පන්දුයවන්නෙක් හිටියා.එයාට තමයි පළමු තැන තිබුනෙ.
මම තේරුම් ගත්තා මට පළමු පෙල කණ්ඩායමට සෙල්ලම් කරන්න නම් අනිවාර්යයෙන්ම අනිත් කෙනාව පරද්දන්න වෙනව කියලා.
ඒත් එයාව පරද්දන්න යනකොට තව කීප දෙනෙක් හතුරෝ විදිහට මට හදාගන්න වෙන බව මම දැනගන උන්නා.ඉතින් මම කලේ මාවම පරද්දන එක.මට පුලුවන්නම් අද ඉන්න මාව පරද්දන්න හෙට ඉන්න මම ඊයෙට වඩා දියුණු කෙනෙක්.
අවුරුදු දෙකකට විතර පස්සෙ මම රටේම ඉන්න හොඳම පන්දු යවන්නා සම්මානය ගන්නකොට අර පන්දු යවන්නාව මම එයාට තරඟයක් නොදීම පරද්දවලා තිබුනා.
මම හිතනවා දැන් ඔබ දන්නවා කියලා ඉරිසියාවෙන් කෙනෙක් දියුණු වෙන්නෙ කොහොමද කියලා?