Monday, June 20, 2011

කැපී පෙනෙන්නට ගොස් පෙනී කැපීම.


කැපී පෙනෙන්නට ගොස් පෙනී කැපීම.


මෙහෙම වුනොත් ඔබට කොහොම දැනේවිද?හිතලා බලන්න ටිකක්.
ඇයි අපි කැපිල පෙනෙන්නට යන්නෙ?...උත්තරයක් එකපාර දෙන්න අමාරුයි නේද?
ඒ වුනාට උත්තරයක් නම් නැත්තෙ නැහැනෙ නේද?
එක එක්කෙනාට එක එක උත්තර තියෙන්න පුලුවන්.ඒවා කමෙන්ට් විදියට පල්ලෙහා දාන්නකො වෙලාව තිබුනොත්.

ඒ වුනාට අපි වැඩිපුර කැපිලා පෙනෙන්නට යන්නේ නම් ගෑනු ළමයි ඉස්සරහා කියන එකනම් ඉතා ප්‍රසිද්ධ රහසක්.ගෑණු ළමයා සුන්දරයි නම් ඇය ඉස්සරහා දාන මෙවලම් වල ප්‍රමානයත් බොහෝම වැඩියි....එහෙම නේ...ද?නෙවෙයිද?
හැබැයි ඔය ව්‍යයායාමය අවසන් වෙන්නෙ හුඟ වෙලාවට "කැපිලා පේන්න ගිහින් පෙනිලා කැපීමෙන්"
මේකත් ඒ වගේ සිද්ධියක්.
අන්තිමට හිනා වුනාට මට නඩු දාන්න බැහැ.ඒත් යමක් නොගත්තොත් නම් නඩුවක් වැටෙයි.  

තානාපති කාර්යාලයෙන් පවත්වපු උත්සවයකට මඟුල් බෙරයක් උවමනා වුනා.
බය වෙන්න කාරණයක් නැහැ ඔය මඟුල් බෙරද,,යක් බෙරද, දවුල්ද,හේවිසිද,,එකී මෙකී නොකී හැම හෙල සංගීත භාණ්ඩයක්ම අජිත් අය්යගෙ ගෙදර තියන නිසා අපේ යාලුවෙක් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වුනා බෙරය ගෙනත් දෙන්න.
පාර කොලයක ලියාගනත්,ගමන යන අතරමගට දුරකතන ඇමතුම් පහලොවක් විතර දීලා අපේ අය්යා ගියා කියමුකෝ ගමනාන්තයට.
එහෙන් මෙහෙන් ඔලුව දාලා බල්ලො නැති බව දැන දැනම 
"බල්ලෝ කයිදෝ...බල්ලා බැඳලාදෝ ..."
අහලා කාරිය ගෙදරට සේන්දුවුනා.
ආවෙ ඉස්සරහට ගෑණු ළමයෙක්.
ඔන්න ලොතරැය්ය සූරනවානම්...ගත්තා කඩුව වැනුවා...
"මිස්,ඊස් අජිත් අය්ය ඇට් දි හෝම්..?"
"නෑ වැඩට ගිහින්.!"
කෙල්ල ඒක කිව්ව නෙවෙයි දමලා ගැහුවා.
ඉන් පස්සෙ සිංහලෙන්ම කාරණේ පහදලා දෙන්න අපේ මනුස්සයට සිද්ද වුනා.
"මේ..නංගි අපි ආවෙ එම්බසියෙ වැඩකට ,,අජිත් අය්යගෙන් මඟුල් බෙරය ඉල්ලාගන යන්න..!"
"අය්ය යන්න කලින් කිව්ව ගෙනියන්න කවුරු හරි එයි කියලා.අර කාමරයෙ තියෙන්නෙ අරගන්න .."
ළමයා ඉස්සර තාලෙට වඩා අඩු ටෝන් එකකින් කිව්වා.
කියලා කාමරයක් දිහාට අතක් දික් කලා.
අපේ මෑන් මාදිහා බැලුවා.
තෙරුම ,,"මඟුල් බෙරේ අඳුනනවද?"
මම දන්නෙ නැහැ.
"නංගි ඔයා නැටුම් ද කලේ ස්කෝලේදි?
"නෑ චිත්‍ර ඇයි..?"
ආයිත් දමලා ගැහුවා වචනවලින්.
"න් ..නෑ  නංගි එහෙනම් දන්නවා ඇතිනෙ 'ඩවින්සි', 'මයිකල් ඇන්ජලෝ' ,'රෆායෙල්' ගැන හෙම."
"අය්යත් චිත්‍රද කලේ?"
පොඩි ලීලෙයක් ආවා.
"නෑ නංගි මම කලේ නැටුම්.ඒ වුනාට මම හැම දෙයක් ගැනම දන්නවා"
"එහෙනම් අය්ය බෙරේ අඳුනනවා ඇතිනේ අරන් යන්න අපි පස්සෙ කතා කරමු..!"
අනේ පස්සෙ නෙවෙයි ඒ ළමයට බෙර ගැන ලොකු විස්තරයකට කන් දෙන්න වුනා ඒ වෙලාවෙම.
මම උත්සවය මතක් කරලා යන්තම් එතනින් ආවා 
"දැක්කනෙ වැඩ?"
හිතවතා හරීම උද්දාමයෙන් බෙරේ සංවිධායක මණ්ඩලයට දුන්නා.
කරුමෙක මහත ,
මඟුල් බෙරය කියලා යාලුවා ගෙනත් තියෙන්නෙ 'යක් බෙරය'
"බෙරේ ගෑණු ළමයා ලියුම් කවරෙකට දාලද බං දුන්නෙ ..?"
කවුදෝ මහා කට කැඩිච්චි කතාවක් කිව්වා.
කොහොමින් කොහොම හරි' බෙරේ මාරු ඇරගන 'එන්න වුනෙත් අපේ හිතවතාටම තමයි.



Sunday, June 12, 2011

ඔබේ බළල් අතින් ගින්නේ පැහෙන කොස් ඇටයක් කපටියකුට බාවලා දෙමුද?


ජීවිතයේ කවදාම හරි ඔබ කපටියකුට අසුවී නැතිද?
හෘද සාක්ෂියට එකඟව නම් ඔබට නැහැ කියන්න බැහැ.මොකද මේ සමාජයේ ඉන්න ආත්මාර්ථකාමී මිනිස්සුන්ගෙන් බේරෙන්න නම් ලොකු අත්දැකීම් තොගයක් ඔබ යන එන තැන් වල රැගෙන යායුතු වෙනවා.

මේ ලෝකය දැන් ඒ තරමටම කපටියි.ඔබත් ඒ තලයේම නොහිටියෝතින් වෙන්නෙ ඉතාම පහසුවෙන් ඔවුන් ඔබව ගොදුරක් කර ගන්නවා,විශ්මිත දේ වෙන්නෙ ඔබ ගොදුරක් වූ වග ඔබවත් දන්නෙ නැහැ.
සමහර විට ඔබ නොදැනුවත්වම දැනටත් කාගේ හරි බළල් අතක් වෙලා ඉන්න පුලුවන්.ටිකක් කල්පනා කරලා බලන්න ,සමහර විට ඔබට මතක් වෙන්න පුලුවන්.
මේ මිනිසුන් බොහෝ විට ඔබ ඉදිරියට එන්නෙ ඉතාම සුහදශීලී විලාශයෙන්.ඇත්තෙන්ම එහෙම ආවාම හරිම ලෙහෙසියි කෙනෙක්ව 'අන්දාගන්න'.
මොකද සුහදශීලිත්වයට අපි හැමෝම කැමතියිනෙ නේද..?
අපි හිතන්නෙ "අනේ මේ හරි හොඳ කෙනෙක්නෙ "
ඇත්තෙන්ම අපි හරිම ඉක්මනට ඒ පුද්ගලයාට 'චරිත සහතිකයක්'දෙනවා.
අන්තිමට එයා අපි දීපු චරිත සහතිකය විතරක් නොවෙයි අපි හරි පරෙස්සෙමෙන් හදාගත්තු අපේ පෞරුෂත්වය ඉස්සරහ ප්‍රශ්නාර්ථයක් තියලා යනව,ලොකු ආර්ථික අලාභයකුත් කරලා.
මම මේ කියන්න ලෑස්ති වෙන සිද්ධිය මම ගිය වතාවට කලින් වතාවෙ නිවාඩුවට ආව දවස් වල සිදුවෙච්ච එකක්.
මෙහෙ ඉඳලා ආපහු ලංකාවට ගිය අපේ හිතමිත්‍රයෙක් මුණගැහෙන්න ගිය වතාවක තමයි මම මේ කථාන්දරයට පාදක වෙන පුද්ගලයා මුණගැහුනෙ.
ඔහු ඒ වෙනකොට ලංකාව පුරා වේගයෙන් පැතිරී යමින් තිබුන 'ජාල වෙළඳාම'නම් මිනිසුන් ඇන්ඳවීමේ කළාවේ කොටස් කාරයෙක්.
ඔහුගෙ වෙළඳාම වුනේ 'බහු පෝශ්‍ය පදාර්ථ'සහිත පෙති සහ කරල්.
මම ඉතින් කාලෙකට පස්සෙ මුණ ගැහුන මිත්‍රයා එක්ක ආගිය් තොරතුරු කථාබහ කරලා තේ කෝප්පයක් කාරිය බීලා යන්න ආපසු යන්න ලෑස්ති වෙනකොටම වගේ මම අර කලින් සඳහන් කළ පුද්ගලයා එතැනට ආවා.
බොහෝම සුහදශීලී කමක් එක්කම ප්‍රසන්න පෙනුමක් අපේ කථානායකයාට තිබුනේ.
"මල්ලිව මම කලින් දැකලා නම් නැහැ"
කියලා තමයි එයා කථාව පටන් ගත්තේ.
 මම ඉතින් මගේ විස්තර ඔහුට කිව්වා.ඇත්තෙන්ම මට ඔහු ඒ තරම් ප්‍රශ්ණකාරී කෙනෙක් විදියට පෙනුනේ නැහැ ඒ වෙලාවෙ.හැබැයි මගේ මිත්‍රයා එකපාරටම ඔහු පිටුපසට ගොහින් අතින් 'එපා' කියලා ගියා.මට ඒ සංඥාව එකපාරටම තේරුම් ගියේ නැහැ.
"ෂහ් ,මල්ලිට හොඳ ප්‍රමෝෂන් එකක් තියනවා පොඩ්ඩක් ඉන්න පුලුවන්ද?"
හරීම ආචාරශීලී විදියට ඇහුවාම කාටද ටිකක් ඉන්න බැරි .ඔය අතරේ මම දැක්ක පුද්ගලයා කඩිමුඩියේ  තමන්ගේ ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගන්නවා බොහෝම කලබලයෙන්.
ඔය අතරේ අපි ආගිය තොරතුරු කථාකරත්දි මගේ මිත්‍රයා මට අතින් 'යන්න' කියනවා,මට ඕන මොකක්ද මේ වටිනා ප්‍රමෝෂන් එක බලාගන්න.
ඔන්න එකපාරටම යතුරු පැදියකින් ආවා තවත් ප්‍රසන්න තරුණයෙක්.
මම යාන්තමට දැක්කා මගේ මිත්‍රයා නළලේ අත ගසාගන්නවා.දැන් දෙන්නා ලෑස්තිය මට 'හරි වටිනා ප්‍රමෝෂන් එක' හඳුන්වලාදෙන්න.
"සර් මම අපේ ප්‍රොඩක්ට් ගැන කියන්න කලින් ,සර් ගෙන් පොඩි ප්‍රශ්ණ දෙක තුනක් අහන්න කමක් නැහැ නේද?"
අර ආචාරශීලිත්වය ආයෙත් ඉස්මතු වෙනවා.
"කමක් නැහැ මල්ලි."
"සර් දන්නවද දැන් අවුරුද්දට කී වතාවක් ගොයම් කැපෙනවාද කියලා ...?"
"දෙකයි..!"
"නැහැ. තුන් වතාවක් ගොයම් කපනවා."
මට තර්ක කරලා මේ කොල්ලව පාගන්න තිබුනත් මම ටිකක් ඉවසලා උන්නා.
"සර් දන්නවද පොඩි දරුවෙකුට 'රන් කිරි කට ගාලා' කවන අර්තාපල් ගෙඩිය හැදෙන පොලවේ නිසරු බව කොච්චරද කියලා..?"
මම සද්ද නැතුව උන්න නිසා කොල්ලා 'ෆෝම්' වෙලා කියවනවා.
මම ආයෙමත් 
"නැහැ"
කිව්වා.
"සර් දන්නවද බටයක් ඇතුලෙන් වතුර ගලාගන යන විදිය...?"
"සාමාන්‍ය විදියට වතුර පාරක් ගලාගන යන විදිහට නෙ..?"
"ඔව්,ඒත් ඒ විදිහට බටේ ඇතුලෙ බැඳෙන් දිය සෙවල කුණු රොඩු සුද්ධ වෙනවද?"
කොල්ල උත්තරේ ප්‍රශ්ණයක් කරගත්තා.මාව හිරකරන්න හදනවා වගේ කියලා පලවෙනි වතාවට හිතුනා එතනදි.
දබරඟිල්ල දිගු කරගත්තු කොල්ලා ඒක කරකව කරකව මගේ ඉස්සරහට ගෙනාවා.
"මෙහෙම වතුර බැස්සොත් කුණු රොඩු සුද්ධ වෙන්නෙ නැත්ද.."
ඇත්තෙන්ම මට "ඔව්" කියවුනා.
තරඟයෙන් භාගයක් දිනපු කොලුවා ඔන්න ඔය වෙලාවෙ තමන්ගෙ මල්ලෙන් ගත්තා එලියට අපේ භාෂාවෙන් කියන"මල්ටි විටමින්" තොගයක්.
මට තේරුනා තවත් සද්ද වහලා ඉන්න එක භයානකයි කියලා.අනිත් එක මම රැකියාව කලේ බෙහෙත් වර්ග ගෙන්වන සමාගමක.ඉතින් මට බෙහෙත් වර්ග ගැන හොඳ වැටහීමක් මගේ ඖෂධවේදියා දීලා තිබුනා.ඔහුට පින් දිදී මම බෙහෙත් ගැන දන්න සේරම විස්තර කොල්ලට කිව්ව.
දඩයක්කාරයා දඩයම වෙනහැටි මගේ මිත්‍රයා හිත යටින් හිනාවෙවී බලාඉඳිත්දි වෙළෙන්දො දෙන්නා මට මෙහෙම කියනවා.
"ඉතින් මචන් උඹට පුලුවන්නෙ අපිත් එක්ක එකතු වෙලා මේක කරන්න.සිරාවට මාසෙකට ..0000 වඩා ගන්න පුලුවන්."
'සර්' 'මචන්' වෙත්දි ඔරුවෙ අනික් පැත්ත හොඳ වේගන එන බවක් මට තේරුනා.
"මල්ලි රන් කිරි කටගානවා කියන්නෙ තනකිරි ටිකකට රත්තරන් උරච්චි කරලා දරුවගෙ කටේ තියන එකට.ඒකට කවදාවත්ම අර්තාපල් ගන්නෙ නැහැ.අනික,අර්තාපල් කියන්නෙ මල්ටි විටමින් පසට දාලා හැදුවත් කිසිම ගුණයක් නැති එළවළුවක්."
මගේ යාලුවාට අත වනලා මම මගට බැස්සා.
හිතන්න ,
මම යමක් දැනගන හිටි නිසා දෙන්නගෙන් ගැළවුනා නැත්තන් 'අඹ සරණයි' නේද?ඉගෙන ගන්න දෙයක් කවදාවත්ම අහක යන්නෙ නැහැ.කොයිම මොහොතක හරි පිහිටට එනවා.
ඔබ දැණුමෙන් සන්නද්ධ වෙන්න වෙන්න කපටින්ගේ 'දූස්රාවට' මුහුන දෙන්න ලෙහෙසි වෙනවා.


Saturday, June 4, 2011

හිත පැලෙන්න කරන ඊර්ෂ්‍යාවෙ තියන වටිනාකම දන්නවද?


ඊර්ෂ්‍යාව කියන හැඟීම තමයි මිනිහෙක්ව ඉහලටම අරගන යන්න තියන හිනිමග.
ටික දවසකට පස්සෙ මම ආවා ටිකක් විතර අවුල් සහගත කියමනක් එක්ක,එහෙමද ඔබට හිතෙන්නෙ?
"ඉහලට යනවා නම් ඉරිසියා කරන්න බැරියැ ඕන තරම්."
එහෙනම් ඉතින් තවත් කල් ගන්නෙ මොකටද? පටන් ගමු  ,මේ දැන්මම.

මම තුනේ පන්තියෙ ඉඳිත්දි මගේ පන්තියෙම (මගෙ පුතා කියන විදියට )යාලුවෙක් උන්නා.එයාගෙ නම ලියන්න බැහැ.එයාට හොඳට ඉගන ගන්න පුලුවන්,හැබැයි එයා මට දෙවෙනි වෙනවා හැම විභාගයකම.
මම පළමුවෙනියා මගෙ මිත්‍රයා දෙවෙනියා.මගෙ මිත්‍රයාගෙ තාත්තා අපේ පලාතෙ ප්‍රභූ පැලැන්තියටත් ටිකක් විතර කිට්ටුවෙන් යනවා.
ආණ්ඩුවෙ රැකියාවක් කලේ,මිනිස්සු ගරු කල යුතු(නැති තැන නැතත් මූනට )නිළධාරියෙක් ඒ මහත්මයා.
පුතා අපට තාත්තා කව්ද කියල අමතක කරන්නම දුන්නෙත් නැහැ.
සමහර විට මගේ මිත්‍රයාට තාත්තාගෙ තැන සහ එයා ඉන්න තැන සම්බන්ධව පීඩනයක් තිබුනාද කියලා අද හිතෙනවා මට.
මිනිහා මට උත්තර දුන්නෙ හිත පැලෙන්න ඉරිසියා කරලා.
මා ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්නෙ,මම ළමයෙක් එක්ක ගහගත්තත් ගහගත්ත ළමයා ගුරුවරුන්ට කියන්න කලින් මගේ මිත්‍රයා දෙනවා ප්‍රවෘත්තිය.
මම ගුරුතුමාගෙන් ගුටි කෑවාම යාලුවාට හරිම සතුටුයි.
මට ප්‍රශ්නෙකට වැරැද්දක් ලැබුනොත් මෙයා හැමෝටම කියනවා,මට ඉතින් හීනියට වගේ ලජ්ජාවකුත් නේනවා නෙවෙයි.
මේ විදිහට මම පන්තියෙ දඟ සහ දක්ෂ ළමයෙක් විදිහට නමක් ගනිත්දි ඔය විස්තරය මගෙ තාත්තාට ආවා.
මම තාත්තාට සිදු වෙන දේ කිව්වා.
"අර ....මගෙ වැරදි හොයහොයා ටීචර් ලට කියනවා"
තාත්තා දුන්නෙ ටිකක් අමුතු උත්තරයක්.
"එයා ඔය ඉරිසියාවටනෙ ඔය දේවල් කරන්නෙ.!"
"මොකක්ද තාත්තෙ ඉතින් මම කරන්න ඕන..?"
මට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනෙ මේ සිද්ධි මාලාවම.
තාත්තා බොහෝම ආදරෙන් මගේ ඔලුව අතගාලා කිව්වා,
"ඔයාට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ.ඔය දේවල් වලට මුහුන දෙන්න පුරුදු වෙන්නත් එක්කඔයා ඊලඟ පාරත් පන්තියෙ පළවෙනියම වෙන්න.ඒ ළමයා ඔයා එක්ක හිතවත් වෙච්චි වෙලාවක කියන්න 'ඉරිසියා නොකර පළවෙනියා වෙන්න උත්සාහ කරන්න'කියලා."
මම තාත්තා කියපු විදිහට යාලුවට කිව්වට වැඩක් වුනේ නැහැ.මිනිහගෙ කෙනෙහිලි කම් වල අඩුවක් වුනෙත් නැහැ.
අන්තිමට සිද්ධ වුනේ ඊට අවුරුදු දෙකකට පස්සෙ මම ශිෂ්‍යත්ව විභාගෙන් සමත් වෙලා ගමෙන් නගරයට එනකොට මගේ මිත්‍රයා පන්තියෙ පස්වෙනියා.එයා එයාගෙ කාලය මා ගැන හොයාන්න යොදලා තමන් ගැන බලාගන්න බැරි වෙලා.
මේ සිද්ධිය වෙන්නෙ ඊට අවුරුදු දහහතකට විතර පස්සෙ.
මම මේ රටේ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයට එනකොට ,මට එතැන පළමු කණ්ඩායමේ තැනක් තිබුනේ නැහැ,තව හොඳ පිට දඟ පන්දුයවන්නෙක් හිටියා.එයාට තමයි පළමු තැන තිබුනෙ.
මම තේරුම් ගත්තා මට පළමු පෙල කණ්ඩායමට සෙල්ලම් කරන්න නම් අනිවාර්යයෙන්ම අනිත් කෙනාව පරද්දන්න වෙනව කියලා.
ඒත් එයාව පරද්දන්න යනකොට තව කීප දෙනෙක් හතුරෝ විදිහට මට හදාගන්න වෙන බව මම දැනගන උන්නා.ඉතින් මම කලේ මාවම පරද්දන එක.මට පුලුවන්නම් අද ඉන්න මාව පරද්දන්න හෙට ඉන්න මම ඊයෙට වඩා දියුණු කෙනෙක්.
අවුරුදු දෙකකට විතර පස්සෙ මම රටේම ඉන්න හොඳම පන්දු යවන්නා සම්මානය ගන්නකොට අර පන්දු යවන්නාව මම එයාට තරඟයක් නොදීම පරද්දවලා තිබුනා.
මම හිතනවා දැන් ඔබ දන්නවා කියලා ඉරිසියාවෙන් කෙනෙක් දියුණු වෙන්නෙ කොහොමද කියලා?


Friday, May 20, 2011

කාටවත්ම කියන්නෙපා..!


ඔබ ලෝකය හුඟාක් විශ්වාස කරන,තමන්ගෙ යහලුවන්ව ඉතාමත්ම ලඟින් තියාගන ඉන්න කෙනෙක් නම් මම අද කියන කාරණය ඔබ වෙනුවෙන්මයි කියලා හිතාගත්තට වරදක් නැහැ.
අපි ලෝකයට විවෘත වෙන්න ඕන සීමාවක් තියනවා කියලා මම කිව්වොත් මම දන්නව හුඟ දෙනෙක් එක පාරටම මාත් එක්ක එකඟ වෙන්නෙ නැහැ.


ඒත් මේ කතාව කියැවූවට පස්සෙත්,අපි විවෘත වුනාට වරදක් නැහැ කියලා හිතන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම්,
එයාට දෙවියන්ගේ පිහිට පතනවා හැර කරන්න දෙයක් තියේවිද ?



මම උසස් පෙළ කරන කාලෙදි මම සිටිය පන්තියෙම උන්නා හොඳ යාලුවෝ දෙන්නෙක්.අපි එයාලව නම් කරමු "කමල්" සහ "පියල්"කියලා.(ඇත්ත නම් පාවිච්චි කරන්න ගොහින් හැරෙන තැපෑලෙන් වානර මානවයාගේ කාලයේ ඉඳන් පැවත එන වචන තොගයක් අහගන්න බැහැ )මේ දෙන්නා ස්කෝලෙට එන්නෙත් එකටමයි,යන්නෙත් එකටමයි.කැන්ටිමට ගියත් එකටමයි .එක්කෙනෙක් බෞද්ධ සංස්කෘතිය තෝරගත්ත නිසා අනෙක් කෙනෙත් දේශපාලන විද්‍යාව අතහැරලා බෞද්ධ සංකෘතියම තෝරාගත්තා.ඒ තරම්ම එකටමයි දෙන්න උන්නේ.(අපි සමහර වෙලාවට විහිලු කරනවා නෝනයි මහත්තයයි කියලා )

දෙන්නගෙ වෙනස්කම් තිබුනෙ කිහිපයයි .වෙනස් විදියට කලේ, ගැහැණු ළමයි දෙන්නෙක් තෝරාගත්තු එක.එක්කෙනෙක් ටිකක් සල්ලාලයි,අනිත් කෙනා එහෙම නැහැ.මේ දෙන්නාගෙ ගැහැණු ළමයි මුණගැහෙන්න යන්නෙත් බොහෝ වෙලාවට එකටමයි.

ඉතින් ඔහොම උසස් පෙළ පලවෙනි අවුරුද්දත් ගෙවිලා ගියා,මේ "කමල්" ගෙයි "මිත්‍රත්වය වර්ධනය කරමින්.හදිස්සියෙම, අගෝස්තු නිවාඩු කාලෙ දි මට දැනගන්න ලැබුනා කමලුයි පියලුයි එකතුවෙලා හිටවපු පැණි වරකා ගහට හෙනයක් පහත් වෙලා කියලා.මේ දෙන්නගෙ යෙහෙළියන් උන්නෙ එකම නැටුම් පන්තියක.ඉතින් එයාලාව මුණගැහෙන්න දෙන්නාම යනකොට කවුරුත් දන්නවා.ඒ වගේම කෙනෙක් එන්නෙ නැත්නම් එදාට එයාගෙ ගැහැණු දරුවාට පණිවිඩයක් යවන්නත් හරිම පහසුයි.

මේ විශේෂිත සිද්ධිය වෙන දවස් වල මේ දෙන්නගෙ යෙහෙළියො දෙන්නත් එකිනෙකාට ඔරවා ගන්නා තත්වයට පත් වෙලා."තමන්ගෙ පෙම්වතා එක්ක අනෙක් කෙනාගෙ පෙම්වතා තරහයිනෙ ,ඉතින් මම මොකටද එයා එක්ක කථා කරන්නෙ?" ඒ දෙන්නම එහෙම හිතලා මූණුවත් බලන්නෙ නැතුව හිටියා.

ඉතින් පළවෙනි සතිය තමන්ගෙ කේන්තිය ඇඟ ඇතුලෙම තියාගත්තු යහළුවෝ අමතර පංති වලදි මුණගැහුනත් එකිනෙකාගෙ මුහුණ්වත් නොබලන්න තරම් කේන්තියෙන් උන්නෙ.(හැබැයි දෙන්නගෙම හිත් වල තිබිලා තියෙනවා "අරෙයා මට සොරි කියයි" කියලා.ඒත් කවුරුවත් කාටවත් සොරි කියන්න ගියේ නැහැ.

දෙවෙනි සතිය වෙනකොට ප්‍රශ්නෙ ඔඩු දුවලා ඉවරයි.සමාදාන කරන්නත් කෙනෙක් නැහැනෙ ස්කෝලෙ නිවාඩු නිසා.ඔන්න දැන් දෙන්නම හිතනවා දෙන්නගෙන්ම පලිගන්න විදිහ ගැන.මම කලින් කිව්වෙ එක්කෙනෙක් ටිකක් සල්ලාලයි කියලා,එයා යනවා මුනගැහෙන්න අනිත්කෙනාගෙ යෙහෙලියව මුණ ගැහෙන්න.ගිහින් කියනවා තමන්ගෙ යාලුවාගෙ පෙර වැරදි ටිකක්.මේ ගෑණු ළමයා ලනුව සම්පූර්ණයෙන්ම ගිලිනව.ඉන්පස්සෙ ජෝඩුව රණ්ඩු. 

මේ අතරෙ දවසක ,අපේ අනික් අඹ යාළුවා යනවා තමන්ගෙ සල්ලාල යාළුවාගෙ හෙහෙළිය මුණගැහෙන්න, වතගොත කියලා තමන්ට දීපු එකේ "රිටර්න් "එක දෙන්න.ඒත් ඒ ගැහැණු ළමයාට අනිත් ළමයට වඩා ටිකක් මොලේ තියනවා.එයා අහනවා "ඔයාලා අය්යෙ හොඳ යාළුවො නම් ඇයි තරහා වුනාම තම තමන්ගේ වැරදි කියාගන්නෙ ?"කියලා.මේක හරියට "ගහෙන් වැටිච්ච් මිනිහා වඳින්න ගිය දේවාලෙ ගොනා ඇනලාන් ඉහේ කඩන් වැටුනා වගේ" සිද්ධියක්නෙ.

ඔය අතරේ අපට ඇත්ත කාරණය ආරංචි වෙනවා,අපි කීප දෙනෙක් ගෙවල් වලට ගිහින් කමලුයි පියලුයි සමාදාන කරනවා.ඒත් ඉතින් එතකොට නොවෙන්න ඕන දේවල් ගොඩාක් සිද්ධ වෙලා ඉවරයි.උසස් පෙල ඉවර වෙනකම් ඒ දෙන්නා අපිත් එක්ක හිටියා වුනත් අර ඉස්සර තිබිච්ච මිත්‍ර බැඳීම ඉන් පස්සෙ අපි එයාලගෙන් දැක්කෙ නැහැ. 

දැන් එයාල දෙන්නම විවාහකයි, දරුවන් එහෙමත් ඉන්නවා.හැබැයි ඒ දෙන්නම බැන්දෙ ඒ දවස් වල ප්‍රේම සම්බන්දයක් තිබිච්චි දෙන්නවම නෙවෙයි.සමහර විට එයාලා දෙන්නගෙම හැටි දැන ගත්තු නිසා වෙන්න ඇති.

තමන්ගෙ පෞද්ගලික විස්තර,කරන්න හිතාගන ඉන්න දේවල්, වක්කඩ කැඩුවා වගේ තවත් කෙනෙක් ඉස්සරහා දිග හරින්නෙ නැතුව,යම් පමණකට පුද්ගලිකත්වය රැක ගන්න උත්සාහ ගන්න.මොකද අපි තාමත් රහතන් වහන්සේලා ආශ්‍රය කරන්න පටන් අරගන නැති නිසා.



Monday, May 16, 2011

අනුන්ගෙ පහන් වලින් තමන්ගෙ දිස්නය වැඩි වෙයිද?


මේ සිද්ධිය වෙන්නෙ මීට වසර දෙකකට විතර උඩදි.
ඔය වකවානුවෙදි මම ඉන්න රටට එනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම එක්දින තරඟාවලියකට.
ඉතින් කණ්ඩායම් දෙකම ඇවිත්ලා තරඟ පටන් ගන්න දවස් දෙක තුනකට කලින්.සාමාන්‍යයෙන් එහෙම තමයි සිද්ධ වෙන්නෙ.
ඒ තරඟ පවත්වන රටේ දෙශගුණයට හුරු වෙන්නත් එක්ක.
මම ඉන්න ප්‍රාන්තයෙ තමයි තරඟ පවත්වන්න තියෙන්නෙ.

සාමාන්‍යයෙන් කණ්ඩායමට ඇතුලත් වෙන ක්‍රීඩකයො 14 විතරක් මදි එයාලගෙ පුහුණුවීම් වලට.එයාලට පිතිහරඹයේ පුහුණුවට අමතර පන්දු යවන්න අය හොයලා දෙන  එක තරඟ සංවිධායකයින්ගෙ වගකීමක්.
ඔය හේතුව නිසා මටත් අපේ ජාතික කණ්ඩායමට පන්දු යවන්න අමතර පන්දු යවන්නෙක් විදිහට එන්න කියලා මෙහෙ ක්‍රිකට් සංගමයෙන් ඇමතුමක් ආවා.
"අපේ කොල්ලන්ට බෝලයක් දාලා හරි උදව් වෙන්න තියනවානම් කොච්චර දෙයක්ද"

කියලා හිතලා මමත් ගියා වෙලාවට පුහුණු සැසිය පවත්වන ක්‍රීඩාංගනයට
ඉස්සරවෙලාම තිබුනේ අපේ කොල්ලන්ගෙ පුහුණුවීම්.හිතේ හැටියට පැය දෙකක් විතර අපේ කට්ටිය පුහුණුවීම් කරලා ඉවරවුනා.එතකොට වෙලාව හවස හයහමාරට විතර ඇති මම හිතන්නෙ.
ඒ වෙනකොට අපේ කට්ටිය එකා දෙන්නා යනවා ක්‍රීඩාංගනයෙන් එළියට.
ඔය අතරේ මට මුන ගැහුනා මම ක්‍රීඩා කරන කණ්ඩායමේ ඉන්න පකිස්තානු ජාතික ක්‍රීඩකයෙක්.
එයත් ඇවිල්ල එයාගෙ රටේ ජාතික කණ්ඩායමට උදව් වෙන්න,අතිරේක පන්දු යවන්නෙක් විදියට පන්දු යවලා.
ඉතින් පුද්ගලයා මාව දැක්ක ගමන් කථා කලා
"ටීම් එකට බෝල් කරන්න ආවද?"
මගේ කණ්ඩායමේ සාමාජිකයා,ඉතින් කතා නොකර කොහොමද?
"ඔව්,ඔයා ආවෙත් පකිස්ථානු කණ්ඩායමට බෝල් කරන්නද?"
මිනිහා දුන්නෙ මාව හොල්මන් වෙලා යන උත්තරයක්.
"බෝල් කරන්නම නම් නෙවෙයි.රාවෝ ඉෆ්තිකාර් මගෙ හොඳම යාලුවෙක්.එයා මට කෝල් කරලා කිව්ව එන්න කියල,ඒකයි."
(රාවෝ ඉෆ්තිකාර් කියන්නෙ ඒ තරඟාවලියට තෝරගන තිබුනු අලුත් ක්‍රීඩකයෙක්)
එයා ඒ ටික කිව්වෙ හරීම ගෞරවයක් ඇඟට අරගන.
හැබැයි අපි දැනගන උන්නා මනුස්සයා හීනියට බොරුත් කියනවා කියලා.
"ඔයා කැමතිනම් රාවෝ ව අඳුනාගන්න,මට පුලුවන් ඔයාව එයාට මුණ්ගස්සන්න."
ඇත්තටම ක්‍රීඩාවෙ ඉන්න කෙනෙක් හැටියට ජාතික කණ්ඩායමක කෙනෙක් අඳුනාගන්න මගෙත් අකමැත්තක් තිබුනෙ නැහැ.
ඔන්න දැන් යාලුවා රාවෝ එක්ක කරපු දේවල් විස්තර ගොඩාක් කියනවා.
අපිත් එක්ක ඉන්න අනිත් අයත් ටිකක් විතර ගෞරව සම්ප්‍රයුක්තව මගෙ යාලුවා දිහා බලන්න පටන් අරගන.
හිතන්න ,නිකමට වගේ කෙනෙක් කිව්වොත් 'සන්ගා'මට කෝල් කලා එන්න කියලා.
වචනෙන් කියනවා නම්'ටිකක් කොර'නේද?
ටිකක් වෙලා ගියා.
දැන් 'විසිල්' ඉවරයි 'බල්ටි' පටන් ගන්නයි යන්නෙ.ඒ කිව්වෙ පාකිස්ථානු ක්‍රීඩකයො එක එක්කෙනා එනවා.
අපි දැන් බලා ඉන්නවා ඔය කියන රාවෝ ඉෆ්තිකාර් ඇවිත් අපේ 'කාෂිෆ්'ව වැලඳ ගන සතුට ප්‍රකාශ කරන මොහොත එනකම්.
යූනුස් කාන් ආවා,හැමෝටම හිනාවීගන.
කසකාරයා අෆ්‍රීඩි ත් ආවා අත වනාගන.
බලා හිටපු අයගෙන් එයාලාට ලොකු ප්‍රතිචාරයක් ලැබුනා .
ඔන්න අර කියපු රාවෝ එනව ,අපේ යාලුවා ඉස්සරහට ගියා හිනාවීගන.තමන්ගෙ යාලුවාව පිලිගන්න.
අනේ අර ක්‍රීඩකයා එයාව ගනන් ගන්නෙත් නැතුවම, කවුරුවත් තමන්ගෙ ඉස්සරහට එනවා නොදැක්ක ගානට යන්න ගියා.
තමන්ට එන්න කියලා කෝල් කරපු යාලුවාව පිළිගන්න ඉස්සරහට ගිය කාෂිෆ් ට ආපහු හැරෙන්නෙ කොහොමද කියල කියා දෙන්න අපිට සිද්ධ වුනා.  

ඇත්තටම සමාජයේ ටිකක් ඉහල තලයක ඉන්න කෙනෙක් එක්ක අපේ ඇඳුනුම් කමක් තියනවා නම්,අපි හරි කැමතියි අපේ අනික් යාලුවන්ට කියන්න,
"අහවලා මගෙ හොඳම හිතවතානෙ.මම මේ දැනුත් එයා එක්ක කතා කරලා එන ගමන්"
සමහර විට ඒ පුද්ගලයට අපිව මතකත් නැතුව ඇති ඒත්,
අපි මොනවද ඔය කියපු වාක්‍යයෙන් බලාපොරොත්තු වෙන්නෙ?
"අහවලාගෙ දිස්නෙන් ටිකක් මමත් ගාගන්න ඕන"
කියන එක නෙවෙයිද?
ඔබත් අනුන්ගෙ දිස්නයෙන් බැබළෙන්න හිතන කෙනෙක් නම්,පරිස්සම් වෙන්න.
ඔබ ලජ්ජාවට පත් වීමේ අවදානම වැඩියි.




Sunday, May 15, 2011


ආයුබෝවන් කියනවා “මුතු අහුරට ” එකතු වෙන හැමෝටම….!
මේ තියන චිත්‍රය දැක්කාම හිතුනෙ මොනවද කියලා මට අහන්න හිතෙනවා ඔයාලගෙන්,
හැබැයි ඉස්සරවෙලාම කියන්න ඕන මේ කියන්න යන පලවෙනි සිද්ධියටයි මේ චිත්‍රයේ සම්බන්ධය තියෙන්නෙ.
ඔයාලගෙන් සමහර අය දන්නවා ඇති “අනුර ශ්‍රීනාත්” කියන විශේෂිත චිත්‍ර ශිල්පියාව.මම අනුර ශ්‍රීනාත් මහත්මයා විශේෂිතයි කිව්වෙ,බොහෝම පොඩි සිද්ධියකින්ඉතාම සංවේදී නිර්මාණයක් ලෝකයට දායාද කරන්න,සහෘද රසිකයන්ගේ හදවත් ස්පර්ශ කරන්න පුලුවන් නිසයි.
හැබැයි නිර්මාණ විතරක් නෙවෙයි චිත්‍ර ශිල්පියා ඇතුලෙ ඉන්න “මනුස්සයාත්”බොහෝම අගය කල යුතු කෙනෙක්.
මම ලියන්නෙ ඒ මහත්මයා ඇඳපු චිත්‍ර කථාවකින් මම ගත්තු දෙයක්.
අම්මෙකුයි,තාත්තෙකුයි,දුවයි,පුතයි යනවා මුහුදු වෙරලට හවස් වරුවක.
ඔය කට්ටිය විනෝද වෙන අතරේ දුවටයි පුතාටයි තාත්තා අයිස් ක්‍රීම් අරන් දෙනවා.
මේ පොඩි දෙන්නා අයිස් ක්‍රීම් කන දිහාවෙ බලා ඉන්නවා එතන හිටපු හිඟන දරුවෙක්,
මේ සිද්ධිය දකිනවා තාත්තා,ඒයා අර හිඟන දරුවා දිහා බල බලා රවනවා.
ඒ අතරෙ අම්මත් අර හිඟන් දරුවාව දකිනවා.
එයා ,එයාගෙ දුවටයි පුතාටයි ලඟට ඒන්න කියනවා.
අම්මට බයයි දරුවන්ට බඩේ අමාරුව හැදේවි කියලා.
“දුව ,පුතා මෙහාට එන්න .මේ දරුවන්ට බඩේ අමාරුව හැදේවිද මන්දා”
මේ දේවල් දකින තාත්තා කට්ටිය එක්කම වෙන තැනකට යමු කියනවා.
ඒත් එක්කම දුවගේ අයිස් ක්‍රීම් එක එයා කාලා ඉවර කරලා අයිස් එක ඔතලා තිබුන කොලය එතනම බිම දානවා.
අර හිඟන දරුවා ඇවිත් ඒ කොලය අහුලනවා දැක්ක අම්ම කියනවා තාත්තාට,
“අනේ අර බලන්නකො අපේ දුව කාලා ඉවර කරපු අයිස් එකේ කොලය අර කොල්ලා අහුලා ගත්තා.”
එතකොට තාත්තා බොහෝම කේන්තියෙන් මෙහෙම කියනවා,
“බලන්න ඔය වගේ කාලකන්ණි නිසා තමයි වැදගත් මිනිහෙකුට මුහුදු වෙරළකට හවසකටවත් යන්න බැරි.අපි යමු යන්න.ඕක දැන් ඉතින් ලෙවකාවි..! “
එහෙම කියල එතනින් නතර නොවී හැරිලත් බලනවා අර හිඟන දරුවා, එයාලගෙ දරුවා වීසි කරපු කොලය ලෙව කනවද කියලා.
ඒ චිත්‍ර කථාවෙ අවසාන රූප රාමුව තමයි මම ප්‍රථිනිර්මාණය කරලා ඉස්සරවෙලා දාලා තියෙන්නෙ.
තමන් බලාපොරොත්තු නොවිච්චි දෙයක් සිද්ධ වෙනකොට ඒ අම්මටයි තාත්තාටයි මොනවා හිතෙන්න ඇත්ද?ලෝකයේ හැමදරුවෙක්ම තමන්ගෙ දරුවෙක් වගේමයි කියලා හිතන අම්මලා තාත්තලා බිහි වෙනකම් ඔය වගේ දේවල් අපිට අහන්න ,දකින්න ලැබේවි.
ඒත් ඔය වගේ තමන්ගෙ වටාපිටාව ගැන හිතන අය නම් ,අපට දකින්න ලැබෙන්නෙ අඩුවෙන්.ඒ වෙනුවට අපට කොච්චරවත් මුණ ගැහෙන්නෙ පාරවල් ගානෙ මුත්‍රා කරන,තමන්ගෙ හැසිරීමකින් තව කෙනෙකුට කරදරයක් වෙනවට කැමති අය.
නිකමට හිතන්න පාරෙ යත්දි බිම වැටිල තියන මුදල් පසුම්බියක් ඔබ අහුලාගත්තොත් මොකද කරන්නෙ?
"කවුරුවත් වටපිට ඉන්නවද බලලා ඉක්මනට සාක්කුවට දා ගන්නවා"
එහෙම සිතිවිල්ලකුත් එන්න පුලුවන් .
"ගෙදර ගෙනිහින් සල්ලි අරගන ආපහු පාරටම ගිහින් දානවා"
අන්න,තමන් වරදක් කරන බව දැන දැනම ඒ වරද සාධාරණීකරනය කරන්න හදනවා.
ඒත් ඔය ඇහින්ද පසුම්බිය හැකි ඉක්මණින්ම අයිති කාරයාට දෙන්න ඔබට හැකි නම්,මොනතරම් වටිනා කියන වැඩක් ද ඒක?
දවසක ඔබේ පසුම්බියත් ඔය විදියටම නැතිවුනෝතින්......?
ඇත්තටම අපි,ආත්මාර්ථකාමී බවෙන් නම් හුඟාක් ඉහල තැනක ඉන්නවා නේද...?

Tuesday, May 10, 2011

පොඩි පොඩි කථා දෙක තුනක්.


ගිය සතියට කලින් සිකුරාදා අබුඩාබි නගරයේ අවුරුදු උත්සවයක් පැවැත්වුනා.ඇත්තටම ඒවගේ අපේ සංස්කෘතික උත්සව මියයානොදී පවත්වා ගත යුතුමයි.
මමත් ඒ උත්සවයට සහභාගි වුනේ බොහෝම සතුටකින් සහ ඒ උත්සවය සංවිධානය කළ කාර්ය මණ්ඩලයට බැතිපුද දෙමින්.
මම මේ කියන්න යන්නෙ එහිදි මම දුටුව සහ ඇසුනු සිද්ධි කහිපයක්.
උදෙන්ම තිබුනෙ ක්‍රිකට් තරඟ නිසා අපේ යාලුවො එකතුවෙලා එක කණ්ඩායමක් හදාගන ,මැච් එකකුත් ගහලා හෙම අපි පොඩි විවේකයක් ගනිත්දි අපි හිටපු තැනට ආවා මැදිවයසට ඇවිත් හිටපු අය්යලා කිහිප දෙනෙක්.
එයාලා කෑම බීම හෙමත් හදාගන ඇවිත් තිබුනා මතකයි.
ටිකක් වෙලා යත්දි එක අය්යා කෙනෙක් තවත් අය්යා කෙනෙක් ගෙන් අහනවා..
"මචං කොහොමද දැන් උඹේ ජොබ් එක...?"
"අවුලක් නැහැ මචං,හිතාගන ආව තරම් නම් මට බේසික් එක දුන්නෙ නැහැ,එ වුනාට මට පාට් ටයිම් එකක් හම්බ වුනා ඒකෙන් මාසෙකට  හාරසියයක් විතර ගන්න පුලුවන්."
"එතකොට ඔක්කොම කීයක් විතර සෙට් වෙනවද?"
අර කලින් අහපු අය්යා අහනවා!
"මචං 1200 විතර ගන්න පුලුවන්.මම එකෙන් 30000 විතර ඉතුරු කරලා ගෙදරට යවනවා.එයාල ඒකෙන් 20 කට වඩා ඉතුරු කරනවා කියලා කිව්ව.කොහොම හරි මේ අවුරුද්ද ඇතුලත ගෙදර වැඩ ඉවර කර ගන්න පුලුවන් වෙයි..!"
අපේ කට්ටිය නව දෙනෙක් විතර උන්නට කතාවට කන්දීල තිබුනෙ මමයි තව යාලුවෙකුයි විතරයි.
(එයාගෙ නම මේකෙ දැම්මොත් හොඳ නැහැනේ)
අපේ යලුවෙකුට ඒ අය්යලා ගෙනාපු දොඩම් ගෙඩියකුත් දීලා එයාල යාලුවො ටිකකට එකතු වුනා.
ඒ අය්යල ගිය ගමන් මම කතාව අහගන උන්නු යාලුවා දිහාට හැරුණා.
"ඇහුනද..?"
"ඔව් මචං,අපේ වුන්ට .000ක් අරගනත් අර අය්යා කරන දෙවල් වලින් බාගයක් කරගන්න බෑ."
ඒ ඇයි කියන එක මම දැනගන උන්නට ඕන වුනා යලුවා දන්නවද කියලා දැනගන්න.
"ඇයි ඒ..?"
එයා ඒකට උත්තර දුන්නා මේවිදිහට.
"සල්ලි හම්බවෙන්න හම්බවෙන්න මිනිස්සු ලෝභ වෙනවා වැඩියි."
මම ඉතුරු ටික සම්පූර්ණ කලා.
"කොච්චර සල්ලි හම්බ කලත් බැහැ සකසුරුවම් කම ගෑවිලාවත් නැත්නම්"

..............................................................................................................
මේ දෙවෙනි කතාව...
ටිකක් දවල් වේගන එනකොට ටික ටික පදම් වෙන කට්ටිය සින්දු කියන්න ගත්තා.සාමකාමීව එහෙම සතුටු වෙන එකේ වරදක් නැතත් චාරිත්‍රානුකූල උත්සවයකට රහමෙර ගාවා ගන්න එකනම් දෙපාරක් හිතන්න ඕන කාරණයක්.දැන් ඔහොම ඇතිපදම් වෙච්ච මල්ලි කෙනෙක් ඒ පදම ආපහු දාන්න ගත්තා ලෝබ නැතුවම.
ඔය අතරෙ ඔතනින් ගියා රෝද පුටුවක වාඩිවෙච්චි ආච්චිඅම්මා කෙනෙක්.
එයා හිටියෙ අවුරුදු කෙළි සෙල්ලම් වලින් මත් වෙලා.
ඒත් මේ සිද්ධිය දැක්ක ගමන් එතෙන්ට ගැලපෙන යමක් කියාගන යන්න එයාට අමතක වුනේ නැහැ.
"අනේ කාලේ වනේ වාසේ...!"
.................................................................................................................
මේ කතාව ආරන්චි වෙන්නෙ අවුරුදු උත්සවයෙන් පහුවදා,
අවුරුදු උත්සවය අවසාන කරන්න තෝරාගන තිබුණු අංගය තමයි සංගීත සංදර්ශනය.කියන්නත් කණගාටුයි හැමදාමත් වගේම මෙදාපාරත් සංගීත සංදර්ශනය අතරමග නතරවුනා.ඒ සුපුරුදු විදියටම ගුටි බැට හුවමාරුවකින්.
"ඒ අපේ කම පෙන්නපු අවස්ථාවක්නෙ"
කෙනෙක් එහෙම කිව්වා.
"සංගීතෙකදි වලියක් ගියේ නත්නම් ගතියක් නැහැ"
තව කෙනෙක් එහෙම කිව්වා.
"දන්නවද වලිය ගියේ කොහොමද කියලා..?"
එයා තමයි හොඳම ප්‍රශ්නෙ ඇහුවෙ.
"නැහැ"
කව්දෝ කෙනෙක් අපේ අවුරුදු උත්සවය ,අපේ සංස්කෘතික උත්සවය බලන්න ආව විදේශීය කාන්තාවක්ගේ ශරීරවයක් අල්ලලාලු.
අපි සංස්කෘතිකව පොහොසත් ද....?
නැත්නම්,
අපි මානසිකව දුප්පත් ද..?

අපෙන් සමුගත්,ලක්බිමේ උන් නලින් ප්‍රියන්ත අය්යා ගැන මගේ මතකය.

මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ අපෙන් ටික ටික ඈත් වෙලා යන මනුස්සකම් ගැන  මම එකතු කර ගත් දේවල් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්නයි.මගේ මේ වෑයම කොයි තරම් සාර්ථක වෙනවද කියන එක කාලය සහ මේ බ්ලොග් ඉරුව කියවන ඔයාලා තීරණය කරාවි.
                                                                 
   වරදවා වටහා ගන්න එපා,මම මගේ මනුස්සකම ගැන කතා කරන්න හදනවා කියලා.නැහැ,මම කියන්න යන්නෙ මට මුණ ගැසුන පුද්ගලයන් මට ජීවිතය හදාගන්න,සැබෑ මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න කියාදුන්න දේවල් .


මට මුනගැහුණු අය අතරේ ඉන්න මානුෂික ගුණාංගයන් පිරුනු පුද්ගලයන් දිහා බැලුවාම කවුරු ඉස්සරවෙලා තෝරා ගන්නද කියන එක ලොකු ප්‍රශ්නයක්.


ජීවතුන් අතර ඉන්න අය ගැන ලියන්න ඕන කම තිබුනත් මගේ පලවෙනි ලිපියට මම තෝරාගත්තෙ මට පොඩි දෙයකින් ලොකු බලපෑමක් කල කෙනෙක්ව.


ලක්බිම පුවත්පතේ රාජකාරිය කරපු,මින් වසර කිහිපයකට පෙර අවාසනාවන්ත විදියට අපෙන් සමුගත් නලින් ප්‍රියන්ත අය්යා ව තමයි මම මගේ ලිපියට පාදක කරගන්නේ.


 නලින් අය්යාව මම ඉස්සර වෙලාම දැනගන්නේ පාසලේ ශිෂ්‍ය නායකයෙක් විදිහට.මුලින් උපැස් යුවලක් පාවිච්චි නොකලත් පස්සෙ කාලෙකදි ඒ උපැස් යුවල ශරීරයේ කොටසක් බවට පත් වෙනවා.
මට මතක විදිහට 
පාසල් කාලයේ අවසාන යුගයෙදි තමා ඔයකියපු උපැස් යුවල එන්නෙ.
හැබයි ඉතින් අනිත් ශිෂ්‍ය නායකයො වගේ නෙවෙයි මේ නලින් අය්යා හරිම නිවිච්චි මනුස්සයා.ඒ හින්දාමද කොහෙද කවුරු වුනත් නලින් අය්යා කියපු දෙයක් මග හැරියෙ නැහැ.ශරීරයෙන් වුනත් මහා ලොකු මනුස්සයෙක් නෙවෙයි,ඒ වුනාට පෞරුෂය නම් මහා ලොකුවට තිබුනා වුනත් කාටවත් අඩන්තේට්ටම් කරන්න නම් ඒක එයා පාවිච්චි කලේ නැහැ.



මට මේ සිද්ධිය වෙන්නෙ මම නවය වසරේ ඉගන ගන්නකොට.


ලංකාවෙ තිබිච්චි එක් භීම සමයක් ඉවර වෙලා රට යන්තම් සාමාන්‍ය තත්වට පත්වේගන එන කාලයක් තමයි ඒ දවස්.මමත් පාසල් වෙලාවෙන් පස්සෙ ගණිතයට ටියුෂන් පන්තියකට යන්න පටන් අරගත්තා තව අවුරුදු දෙකකින් එන ඕ ලෙවල් විභාගෙට මුහුන දෙන්න ලෙහෙසි වෙන්න.


ඒ හත් වෙනි කාල පරිච්ඡේදය,එදා බුද්ධාගම උගන්වපු ගුරුතුමිය ඇවිත් හිටියෙ නැති නිසා ඒ වෙනුවට ශිෂ්‍ය නායකයෙක්ව උගන්නන්න දාන්න විදුහල්පති වරයා තීරණය කරලා තිබුන නිසා,නලින් අය්යා ආවා අපට බුද්ධාගම උගන්වන්න.
ඇත්තම කියනවානම්,අපි කවුරුවත් එයාව ඒ තරම් ගණන් ගත්තෙ නැහැ.එයාට ඒක තෙරුම් ගියත් එයා ටිකෙන් ටික අපිව පාලනය කරන්න ගත්තෙ හරිම සියුම් විදිහට.


මට පන්ති යන්න තියන නිසා ,මම හිමින් සීරුවෙ බත් මුලක් ලිහාගන කන්න පටන් ගත්තා වෙලාව ඉතුරු කරගන්න හිතාගන.ඒත් මට වැඩේ ඒ තරම් වෙලාවක් කරගන යන්න හම්බ වුනේ නැහැ,නලින් අය්යට අහු වුන නිසා.

ඒත් එයා මම බත් මුල ඉවර කරන කම් එයාගෙ පාඩුවෙ ඉගැන්වුවා.මම යන්තම් කාල ඉවර වුනා විතරයි,
"දැන් බත්මුලක් කාලා ඉවර මල්ලි නැගිටින්න"
කියලා කිව්වා.
"ඔයා බත් එකක් මම උගන්වන වෙලාවෙ කෑවෙ මම ගුරුවරයෙක් නොවෙන නිසා කියලා මම හොඳට දන්නවා.හැබැයි ඔය වගේ දේවල් කරලා විභාග ෆේල් වෙච්ච දාකට ඒ හැම දෙයක්ම චිත්‍රපටියක් වගේ ඔය මල්ලි ඉස්සරහා පෙනේවි"
"මල්ලි අද තියන දේ අදම,මේ මොහොතෙම ඉවර කරන්න උත්සාහ ගන්න.වැඩිහිටියකුට වයස ,තරාතිරම නොබලා ගරු කරන්න"

මම සද්ද නැතුවම හිමිහිටම වාඩි වුනා.
පහු කාලයක මම ඕ ලෙවල් විභාගය සමත් වෙලා උසස් පෙළත් කලා.
ඒ වුනාට මට කවම දාවත් නලින් අය්යගේ අවවාදය අමතක වුනේ නැහැ.නලින් අය්යා සුමති ආයතනයේ රැකියාවට ගියාට පස්සෙ මට චිත්‍ර කිහිපයක් "අරලිය"පත්තරේ පළ කරගන්නත් උදව් කලා.
මම එයා අපෙන් සමුගත්ත වග දැනගන්නෙ ලක්බිම පත්තරේ වසර දහයක් සම්පූර්ණ කල වෙලාවෙ පළ කල අතිරේකයෙන්.






ඒ දවස් වල මම පිටරටකට ඇවිත් සිටි නිසා ඔහු ගැන විස්තර දැන ගැනීම නොලැබුනත් ඔහු දීපු අවවාදය මට  හැම කාලයකටම වලංගුයි.
අද,මගෙ මේ කතාවෙන් කෙනෙකුට යමක් ගන්න පුලුවන්නම් තවත් ප්‍රමාද වෙන්නෙ නැතුව,ඒ දෙය අරගන ජීවිතය හැඩ ගස්වාගන්න.
හෙට ප්‍රමාද වැඩි වෙන්න පුලුවන්.....!