Saturday, June 4, 2011

හිත පැලෙන්න කරන ඊර්ෂ්‍යාවෙ තියන වටිනාකම දන්නවද?


ඊර්ෂ්‍යාව කියන හැඟීම තමයි මිනිහෙක්ව ඉහලටම අරගන යන්න තියන හිනිමග.
ටික දවසකට පස්සෙ මම ආවා ටිකක් විතර අවුල් සහගත කියමනක් එක්ක,එහෙමද ඔබට හිතෙන්නෙ?
"ඉහලට යනවා නම් ඉරිසියා කරන්න බැරියැ ඕන තරම්."
එහෙනම් ඉතින් තවත් කල් ගන්නෙ මොකටද? පටන් ගමු  ,මේ දැන්මම.

මම තුනේ පන්තියෙ ඉඳිත්දි මගේ පන්තියෙම (මගෙ පුතා කියන විදියට )යාලුවෙක් උන්නා.එයාගෙ නම ලියන්න බැහැ.එයාට හොඳට ඉගන ගන්න පුලුවන්,හැබැයි එයා මට දෙවෙනි වෙනවා හැම විභාගයකම.
මම පළමුවෙනියා මගෙ මිත්‍රයා දෙවෙනියා.මගෙ මිත්‍රයාගෙ තාත්තා අපේ පලාතෙ ප්‍රභූ පැලැන්තියටත් ටිකක් විතර කිට්ටුවෙන් යනවා.
ආණ්ඩුවෙ රැකියාවක් කලේ,මිනිස්සු ගරු කල යුතු(නැති තැන නැතත් මූනට )නිළධාරියෙක් ඒ මහත්මයා.
පුතා අපට තාත්තා කව්ද කියල අමතක කරන්නම දුන්නෙත් නැහැ.
සමහර විට මගේ මිත්‍රයාට තාත්තාගෙ තැන සහ එයා ඉන්න තැන සම්බන්ධව පීඩනයක් තිබුනාද කියලා අද හිතෙනවා මට.
මිනිහා මට උත්තර දුන්නෙ හිත පැලෙන්න ඉරිසියා කරලා.
මා ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්නෙ,මම ළමයෙක් එක්ක ගහගත්තත් ගහගත්ත ළමයා ගුරුවරුන්ට කියන්න කලින් මගේ මිත්‍රයා දෙනවා ප්‍රවෘත්තිය.
මම ගුරුතුමාගෙන් ගුටි කෑවාම යාලුවාට හරිම සතුටුයි.
මට ප්‍රශ්නෙකට වැරැද්දක් ලැබුනොත් මෙයා හැමෝටම කියනවා,මට ඉතින් හීනියට වගේ ලජ්ජාවකුත් නේනවා නෙවෙයි.
මේ විදිහට මම පන්තියෙ දඟ සහ දක්ෂ ළමයෙක් විදිහට නමක් ගනිත්දි ඔය විස්තරය මගෙ තාත්තාට ආවා.
මම තාත්තාට සිදු වෙන දේ කිව්වා.
"අර ....මගෙ වැරදි හොයහොයා ටීචර් ලට කියනවා"
තාත්තා දුන්නෙ ටිකක් අමුතු උත්තරයක්.
"එයා ඔය ඉරිසියාවටනෙ ඔය දේවල් කරන්නෙ.!"
"මොකක්ද තාත්තෙ ඉතින් මම කරන්න ඕන..?"
මට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනෙ මේ සිද්ධි මාලාවම.
තාත්තා බොහෝම ආදරෙන් මගේ ඔලුව අතගාලා කිව්වා,
"ඔයාට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ.ඔය දේවල් වලට මුහුන දෙන්න පුරුදු වෙන්නත් එක්කඔයා ඊලඟ පාරත් පන්තියෙ පළවෙනියම වෙන්න.ඒ ළමයා ඔයා එක්ක හිතවත් වෙච්චි වෙලාවක කියන්න 'ඉරිසියා නොකර පළවෙනියා වෙන්න උත්සාහ කරන්න'කියලා."
මම තාත්තා කියපු විදිහට යාලුවට කිව්වට වැඩක් වුනේ නැහැ.මිනිහගෙ කෙනෙහිලි කම් වල අඩුවක් වුනෙත් නැහැ.
අන්තිමට සිද්ධ වුනේ ඊට අවුරුදු දෙකකට පස්සෙ මම ශිෂ්‍යත්ව විභාගෙන් සමත් වෙලා ගමෙන් නගරයට එනකොට මගේ මිත්‍රයා පන්තියෙ පස්වෙනියා.එයා එයාගෙ කාලය මා ගැන හොයාන්න යොදලා තමන් ගැන බලාගන්න බැරි වෙලා.
මේ සිද්ධිය වෙන්නෙ ඊට අවුරුදු දහහතකට විතර පස්සෙ.
මම මේ රටේ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයට එනකොට ,මට එතැන පළමු කණ්ඩායමේ තැනක් තිබුනේ නැහැ,තව හොඳ පිට දඟ පන්දුයවන්නෙක් හිටියා.එයාට තමයි පළමු තැන තිබුනෙ.
මම තේරුම් ගත්තා මට පළමු පෙල කණ්ඩායමට සෙල්ලම් කරන්න නම් අනිවාර්යයෙන්ම අනිත් කෙනාව පරද්දන්න වෙනව කියලා.
ඒත් එයාව පරද්දන්න යනකොට තව කීප දෙනෙක් හතුරෝ විදිහට මට හදාගන්න වෙන බව මම දැනගන උන්නා.ඉතින් මම කලේ මාවම පරද්දන එක.මට පුලුවන්නම් අද ඉන්න මාව පරද්දන්න හෙට ඉන්න මම ඊයෙට වඩා දියුණු කෙනෙක්.
අවුරුදු දෙකකට විතර පස්සෙ මම රටේම ඉන්න හොඳම පන්දු යවන්නා සම්මානය ගන්නකොට අර පන්දු යවන්නාව මම එයාට තරඟයක් නොදීම පරද්දවලා තිබුනා.
මම හිතනවා දැන් ඔබ දන්නවා කියලා ඉරිසියාවෙන් කෙනෙක් දියුණු වෙන්නෙ කොහොමද කියලා?


2 comments:

  1. ඉරිසියා කරන්න කියලද කියන්නේ..නැත්නම් ඉරිසියා කරන එක දිහා උපේක්ශාවෙන් බලන්න කියලද... :) කොහොම උනත් වෙනස් දෙයක්..එ වගේම හිතට වැදුනා මම තෙරුම් ගත්තේ නම් කවුරු ඉරිසියා කලත් තමන්ගේ ගමන එ විදියට යන්න කියන එක ..එකට මම කැමතියි...හොද ලිපියක් ඇත්තෙන්ම ...

    ජය ..

    ReplyDelete
  2. @ නිමේශා,
    ඇත්තටම ඉරිසියාවට මුහුණ දෙන්න වෙන්නෙ දක්ෂයින්ට.ඉරිසියා කරන්නෙ දෙවෙනියො නැත්නම් දුර්වලයෝ.එතන තේරුනාද?දුර්වලයා දක්ෂයා වෙන්නෙ ඉරිසියාව අධිශ්ඨානයක් වුනොත් විතරයි.එතකොට වෙන්නෙ තමන් නොදැනුවත්වම තමන්ව පරද්දන්න උත්සාහ කරනවා.එහෙම වුනාම තමන් ඉස්සරහට යන්නෙ අර පරද්දන්න ඕන කෙනා විතරක් නෙවෙයි තවත් හුඟක් දෙනෙක්ව පරද්දවලා.
    උත්සාහ කරලා බලන්න.අත්දුටුවයි,ප්‍රත්‍යක්ෂයි...!
    ස්තූතියි ලිපිය කියවලා කල අදහස් දැක්වීමට.

    ReplyDelete