Tuesday, May 10, 2011

පොඩි පොඩි කථා දෙක තුනක්.


ගිය සතියට කලින් සිකුරාදා අබුඩාබි නගරයේ අවුරුදු උත්සවයක් පැවැත්වුනා.ඇත්තටම ඒවගේ අපේ සංස්කෘතික උත්සව මියයානොදී පවත්වා ගත යුතුමයි.
මමත් ඒ උත්සවයට සහභාගි වුනේ බොහෝම සතුටකින් සහ ඒ උත්සවය සංවිධානය කළ කාර්ය මණ්ඩලයට බැතිපුද දෙමින්.
මම මේ කියන්න යන්නෙ එහිදි මම දුටුව සහ ඇසුනු සිද්ධි කහිපයක්.
උදෙන්ම තිබුනෙ ක්‍රිකට් තරඟ නිසා අපේ යාලුවො එකතුවෙලා එක කණ්ඩායමක් හදාගන ,මැච් එකකුත් ගහලා හෙම අපි පොඩි විවේකයක් ගනිත්දි අපි හිටපු තැනට ආවා මැදිවයසට ඇවිත් හිටපු අය්යලා කිහිප දෙනෙක්.
එයාලා කෑම බීම හෙමත් හදාගන ඇවිත් තිබුනා මතකයි.
ටිකක් වෙලා යත්දි එක අය්යා කෙනෙක් තවත් අය්යා කෙනෙක් ගෙන් අහනවා..
"මචං කොහොමද දැන් උඹේ ජොබ් එක...?"
"අවුලක් නැහැ මචං,හිතාගන ආව තරම් නම් මට බේසික් එක දුන්නෙ නැහැ,එ වුනාට මට පාට් ටයිම් එකක් හම්බ වුනා ඒකෙන් මාසෙකට  හාරසියයක් විතර ගන්න පුලුවන්."
"එතකොට ඔක්කොම කීයක් විතර සෙට් වෙනවද?"
අර කලින් අහපු අය්යා අහනවා!
"මචං 1200 විතර ගන්න පුලුවන්.මම එකෙන් 30000 විතර ඉතුරු කරලා ගෙදරට යවනවා.එයාල ඒකෙන් 20 කට වඩා ඉතුරු කරනවා කියලා කිව්ව.කොහොම හරි මේ අවුරුද්ද ඇතුලත ගෙදර වැඩ ඉවර කර ගන්න පුලුවන් වෙයි..!"
අපේ කට්ටිය නව දෙනෙක් විතර උන්නට කතාවට කන්දීල තිබුනෙ මමයි තව යාලුවෙකුයි විතරයි.
(එයාගෙ නම මේකෙ දැම්මොත් හොඳ නැහැනේ)
අපේ යලුවෙකුට ඒ අය්යලා ගෙනාපු දොඩම් ගෙඩියකුත් දීලා එයාල යාලුවො ටිකකට එකතු වුනා.
ඒ අය්යල ගිය ගමන් මම කතාව අහගන උන්නු යාලුවා දිහාට හැරුණා.
"ඇහුනද..?"
"ඔව් මචං,අපේ වුන්ට .000ක් අරගනත් අර අය්යා කරන දෙවල් වලින් බාගයක් කරගන්න බෑ."
ඒ ඇයි කියන එක මම දැනගන උන්නට ඕන වුනා යලුවා දන්නවද කියලා දැනගන්න.
"ඇයි ඒ..?"
එයා ඒකට උත්තර දුන්නා මේවිදිහට.
"සල්ලි හම්බවෙන්න හම්බවෙන්න මිනිස්සු ලෝභ වෙනවා වැඩියි."
මම ඉතුරු ටික සම්පූර්ණ කලා.
"කොච්චර සල්ලි හම්බ කලත් බැහැ සකසුරුවම් කම ගෑවිලාවත් නැත්නම්"

..............................................................................................................
මේ දෙවෙනි කතාව...
ටිකක් දවල් වේගන එනකොට ටික ටික පදම් වෙන කට්ටිය සින්දු කියන්න ගත්තා.සාමකාමීව එහෙම සතුටු වෙන එකේ වරදක් නැතත් චාරිත්‍රානුකූල උත්සවයකට රහමෙර ගාවා ගන්න එකනම් දෙපාරක් හිතන්න ඕන කාරණයක්.දැන් ඔහොම ඇතිපදම් වෙච්ච මල්ලි කෙනෙක් ඒ පදම ආපහු දාන්න ගත්තා ලෝබ නැතුවම.
ඔය අතරෙ ඔතනින් ගියා රෝද පුටුවක වාඩිවෙච්චි ආච්චිඅම්මා කෙනෙක්.
එයා හිටියෙ අවුරුදු කෙළි සෙල්ලම් වලින් මත් වෙලා.
ඒත් මේ සිද්ධිය දැක්ක ගමන් එතෙන්ට ගැලපෙන යමක් කියාගන යන්න එයාට අමතක වුනේ නැහැ.
"අනේ කාලේ වනේ වාසේ...!"
.................................................................................................................
මේ කතාව ආරන්චි වෙන්නෙ අවුරුදු උත්සවයෙන් පහුවදා,
අවුරුදු උත්සවය අවසාන කරන්න තෝරාගන තිබුණු අංගය තමයි සංගීත සංදර්ශනය.කියන්නත් කණගාටුයි හැමදාමත් වගේම මෙදාපාරත් සංගීත සංදර්ශනය අතරමග නතරවුනා.ඒ සුපුරුදු විදියටම ගුටි බැට හුවමාරුවකින්.
"ඒ අපේ කම පෙන්නපු අවස්ථාවක්නෙ"
කෙනෙක් එහෙම කිව්වා.
"සංගීතෙකදි වලියක් ගියේ නත්නම් ගතියක් නැහැ"
තව කෙනෙක් එහෙම කිව්වා.
"දන්නවද වලිය ගියේ කොහොමද කියලා..?"
එයා තමයි හොඳම ප්‍රශ්නෙ ඇහුවෙ.
"නැහැ"
කව්දෝ කෙනෙක් අපේ අවුරුදු උත්සවය ,අපේ සංස්කෘතික උත්සවය බලන්න ආව විදේශීය කාන්තාවක්ගේ ශරීරවයක් අල්ලලාලු.
අපි සංස්කෘතිකව පොහොසත් ද....?
නැත්නම්,
අපි මානසිකව දුප්පත් ද..?

3 comments:

  1. හිතන්න දේවල්... විශේෂයෙන් පිටරට පදිංචි වෙලා හරි රස්සාවල් වලට ගිහින් ඉන්න හරි අපේ කට්ටියට....

    ReplyDelete
  2. @ ඔබ්සවර්,අපේ අය කරන දෑවල් නම් කියන්න ගියොත්"මහා පදරංග ජාතකය"වගේ වෙනවා.ටිකටික දෙමු නේද?

    ReplyDelete
  3. Observer මාම දන්නවත් ඇතිනේ, ලඟදි පර්ත් වලට මේරියනස් ල ආව. ඒකෙදිත් අන්තිම ටික යද්දි වලි.
    ඒක යද්දි නලින් කිව්ව එයාල ඕස්ට්‍රේලියාව වටේම ගියාලු, ඇඩිලේඩ් වලදි විතරලු වලියක් ගියේ නැත්තෙ. අනිත් හැම තැනම වලිලු.
    අනේ මන්ද ඇයි මේ අපේ උන්ට තැනකට ගිහින් ඉන්න බැරි කියලා

    ReplyDelete